රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණ විදේශ රැකියා වංචාවක නිරත වූ රේන්බෝ මෑන් පවර් විදේශ රැකියා ආයතනයේ හිමිකරුට වින්දිතයින්ගෙන් අයකරගත් මුදල් යළි ගෙවන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත්වරිය අද (5/22) නියෝග කළාය.
රේන්බෝ විදේශ රැකියා ආයතනයට එරෙහිව පවරා ඇති නඩුව අද දින නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පෙනී සිටින ලදි. සැකකරු 2025.10.31 දින සිට මේ දක්වා මාස 06 කුත් දින 20 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර අද දින නඩුව යළි කැඳවීමට නියමිතව තිබුණි.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල කියා සිටියේ විත්තිකරු සතුව කෝටි 100 කට අධික වත්කම් ඇති බවත් ඒවායේ තක්සේරු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඇප ලබා ගැනීමෙන් වසර 02 ක කාලයක් තුල පැමිණිලිකරුවන්ගේ මුදල් ගෙවා අවසන් කරන බවයි.
මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටි කාර්යාංශයේ නීති නිලධාරී නීතීඥ ජනක කාරියවසම් මහතා කියා සිටියේ පැමිණිලිකරුවන්ගේ මුදල් ලබා ගෙන මේ වන විටත් වසර 03 හමාරක කාලයක් ගතව ඇති බැවින් තවත් වසර දෙකක් ඉදිරියට කල් ලබා දුනහොත් එය වසර 05 හමාරකට අධික කාලයක් ගතවන බවයි. මේ නිසා පැමිණිලිකරුවන්ගේ මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.
දෙපාර්ශවයේ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය, වසරක කාලයක් තුල පැමිණිලිකරුවන්ගේ මුදල් ගෙවා අවසන් කරන ලෙසට නියෝග කල අතර එය ඇප කොන්දේසියක් ලෙස ඇතුලත් කරන ලදි. මීට අමතරව රුපියල් මිලියන 50 බැගින් වූ ශරීර ඇප කරුවන් 04 දෙනෙක් හා රු.500,000/- ක මුදල් ඇපයක් නියම කරන ලදි.
ශරීර ඇප කරුවන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් රුපියල් මිලියන 50 බැගින් වූ ශරීර ඇපය රාජසන්තක කරන බවට නියෝග කරන ලදි.
සැකකරුවන්ගේ හා ඇපකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරයට ගන්නා ලදි. පැමිණිලිකරුවන්ට ගෙවිය යුතු මුදල් අධිකරණ නියෝගය පරිදි ගෙවීම පැහැර හැරියහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දැනුම් දෙන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

